Sunday, 3 July 2016

              ෴ ගෙදරදීම   තුනපහ   හදමු  ෴ 




බොහොමයක්  දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොම ඉව්වත් කෑම රස නෑ කියන එක.  කෑම රස වෙන්න නම් ඒවාට යොදන තුනපහ වල ගුණාත්මක බවක් අවශ්‍යයි කියලා මම නම් හිතන්නේ .  වෙළඳපොලේ නොයෙකුත්  වෙළඳ නාමයන් යටතේ  ඇති  තුනපහ  වර්ග  ,  මොනතරම්  හොදට නියමිත  ප්‍රමිතියට  තියෙනවා  කිව්වත්  ඒ  හැම  දෙයක් ම  මුල්‍යම වාසි බලාගෙන  යම් යම් ආදේශකයන් සුළුවෙන්  හෝ  එකතු කල  ඒවා . අන්න ඒ  නිසයි  ගෙදර  කොටාගන්න තුනපහ  සහ  වෙළඳපොලේ ඇති  තුනපහ  එකට  ගත්තාම  පාට  සහ  සුවඳ  වල   වෙනසක්  පෙන්නුම් කරන්නේ  . ඒ  වගේම  කෑම වල  රසයේත් වෙනසක්  දැනෙනවා .


අපේ ගෙදර නම් කිසිම  දවසක  තුනපහ කඩෙන් ගන්නේ නෑ . තුනපහ සදහා අවශ්‍ය දේවල් කඩෙන් ගෙනත් සෝදලා වේලලා කබලේ පොඩ්ඩක් බැදගෙන කුඩු කරනවා .


ගොඩක්  අය කියන  දෙයක්  තමයි  අපෝ  ඕවා  කරන්න  කොහෙද වෙලා තියෙන්නේ . අපි  මේ  රස්සාවට  යන ගමන්  ඕවා  කරනවා  තියා  උයා ගන්නෙත්  අමාරුවෙන්  කියලා .  එත්  මම  නම් හිතන්නේ  ඒ  හැටි  දවස්  ගානක  ශ්‍රමයක්  වැය කරන්න  අවශ්‍ය  නෑ  මේ  තුනපහ  හදා  ගන්න . 


මගේ  අම්මා  රජයේ  සේවිකාවක් .  මට  මතකයි  ඇය  පඩි දවසට  මාසෙටම  ඇති  වෙන්න තුනපහ  ,  මිරිස්  කුඩු  ,  මිරිස් කෑලි ,  කහ  වගේම  මුළුතැන් ගෙට  අවශ්‍ය  කරන  සියලුම  වියලි  ආහාරය  සහ අනිකුත්  දෑ ගෙදරට  එකපාර  අරගෙන  එනවා . ඒවා  ගෙනත්  සති අන්තයේ  නිවාඩු  දවසට  උදේ  පාන්දරම  ඒවා  හෝදලා  වේලෙන්න  තියනවා  .  තුනපහ  වලට  ගන්න  ජාති  විතරක්  නෙමෙයි  මිරිස්  කුඩු  සහ  කෑලි හදා  ගන්න  ගන්න මිරිස්  , කහ ,  උම්බලකඩ  මේ  හැම  දේම  හෝදලා  වේලලා  තමයි  ගන්නේ .  ඔයාලා  දන්නවා  ඒ  ද්‍රව්‍ය වල මොනතරම්  කුණු  ජරාව තියෙනවා  ද  කියලා . මිරිස්  තුනපහ  ගොඩක්  නිසා  හෝදලා  වෙලලා  ඒ  ඒ  ප්‍රමාණ  අරගෙන  කබලේ  බදින ඒවා  බැදලා  මිරිස්  මෝලට  ගෙනිහින්  කොටාගන්නවා . දැන්  නම්  ඉතින්  මෝලට  යන්න  අවශ්‍ය  නෑනේ  . ඕනෑම  ගෙදරක  මුළුතැන් ගෙයි  නවීන  උපකරණ  වලින්  සමන්විතයි  නේ . 


ඔන්න  ඔය  නිසා  අපේ  ගෙදර  හැමදාම  වගේ   කඩවල තියෙන එක එක ආදේශක විස ජරාවල් කලවම් නැති පිරිසිදු තුනපහ මිරිස් කුඩු  නිතරම තිබුනා .


වැල්වටාරම් කියව කියවා හිටියා මිස මම කියන්න ආව කාරනාව කිව්වේ නෑනේ . අද මම කියන්න යන්නේ ගෙදරදීම තුනපහ කුඩුකර ගන්න  හැටි .  මම මෙහෙම කුඩු  කරගෙන  එදිනෙදා පාවිච්චියට වෙනම බෝතලයක දාලා එළියෙන් තියාගෙන වැඩි හරිය හුලං නොවදින බාජනයක දාලා හොදින් වසා ඩිෆිෂර් එකේ දාලා තියා ගන්නවා . ඒ විදිහට හුලං නොවදි තියා ගත්තාම අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් තියා ගන්න පුළුවන් . මේ තුනපහ එක එක පලාතෙන් පලාතට සමහර වෙලාවට හදන ක්‍රමය වෙනසක් තියෙනවා . අපි හදන්නේ මෙන්න මේ විදිහට . මේ විදිහට තුනපහ බැදගෙන කොටා ගත්තාම සුවඳයි , රසයි වගේම පිරිසිදුයි .


මේවගේම  තවත්  ක්‍රම  දෙක  තුනක්  තියෙනවා  තුනපහ  හදා ගන්න. ඒවාත්  මම එකින්  එක  කියලා  දෙන්නම්   . . .

දැන්  ඉතින්   අපි  බලමු  ගෙදරදී  තුනපහ  හදන  විදිහ . 

බොහෝ  වෙලාවට  මස්  වලට  මාළු  වලට  මම  මේ  තුනපහ ම  කබලේ  බැදලා  ගන්නවා . එළවලු  වලට  නම්  මේ  විදිහටම  දානවා . 


තුනපහ ..

( මේ මම ගත්තු ප්‍රමාණ )

කොත්තමල්ලි 250 g

සුදුරු 125 g

මහදුරු 50 g

ගම්මිරිස් 60 g

අබ 20 g

එන්සාල් නොහොත් කරදමුංගු 20 g

කරාබුනැටි 10 g

උළුහාල් 20 g

මුංඇට මිටක් පමණ සමහර  අය  මුංඇට වෙනුවට  කඩල පරිප්පු  හෝ  සුදු  හාල්  එකතු  කරගන්නවා

කුරුදු පොතු තරමක කෑලි 1 (කෑල්ලේ තරම ගැන අදහසක් ගන්න පොටෝ එක බලන්න )

කරපිංචා මිටක් පමණ (මම ලංකාවෙන් ගෙනාපු මද පවනේ වේලපු කරපිංචා ගත්තේ )

මේ  තියෙන්නේ  අවශ්‍ය කරන  කුළුබඩු  . . .

 



1. මේ සියල්ල සෝදා අව්වේ දමා හොදින් වේලා ගන්න . මේවා සෝදන්න කියනා කාරනාව බලන්න පොටෝ එකක් ඇති . 

ඔන්න  පේනවා  නේද  තියෙන  කුණු   . . .

 

2. මේ සියල්ල මදක් කබලේ බැද ගන්න . ගොඩාක් වෙලා පාට වෙනස් වෙනකම් තියන්න එපා . බැදිලාද කියලා බලන්නේ අතින් අල්ලලා පොඩි කරනකොට අතට දැනෙනවා බැදිලා කියලා . තදින් ඇල්ලුවාම කොත්තමල්ලි එහෙම කුඩු වෙන ගතියක් තියෙනවා . සමහරු මේක කබලේ බදින්නේ නැතිව කුඩු කරනවා . ඒත් අපි නම් පොඩ්ඩක් කබලේ බැදලා ගන්නවා .මතක  තියා  ගන්න  මේක  තද  බ්‍රවුන්  පාට  වෙනකම්  කබලේ  රත්කරන්න  එපා  . 

 

3. මුලින්ම මම කොත්තමල්ලි කබලේ රත්කරලා ගත්තා .

4. ඉන්පසු සුදුරු , මහදුරු , උළුහාල් කබලේ රත්කර ගත්තා .

මෙන්න  තියනවා  ඒ  කබලේ  බැදලා  ගත්තු  කොත්තමල්ලි / සුදුරු  /  මහදුරු /  උළුහාල්   . .

 

5. ඊටත් පසු ගම්මිරිස් , කුරුදු පොතු , මුංඇට, කරදමුංගු (එන්සාල් ) , කරාබුනැටි සහ කරපිංචා කබලේ රත්කර ගත්තා .

ඔන්න  ඒ  කබලේ  බැදගත් සියලුම  දේවල්   . . .

 

6. අවසානයට අබ පොඩ්ඩක් රත්කර ගත්තා . වැඩිය අබ රත්කරන්න එපා තිත්ත එයි.

 

7. මේ සියල්ල හොදින් ග්‍රයින්ඩින් කර ගෙන පෙනේරයකින් හලා ගන්න .

8. එදිනෙදා බාවිතය සදහා පොඩි බෝතලයකට දමා ඉතිරිවා හුළං නොවදින බාජනයක දමා කල් තියා ගන්න .

 

මේ  තියෙන්නේ හදාගත්  තුනපහ ටික  . .  .

 


මේ තමයි අපි තුනපහ හදන විදිහ . කැමති නම් ඔයාලත් හදලා බලන්න . මුලින්ම පොඩ්ඩක් හදලා බලලා හොද නම් වැඩිපුර හදා ගන්න . මේ තුනපහ එක හරිම සුවඳයි ,  ඒවගේම   ව්‍යංජන  වලට  එකතු  කලාම  ගොඩක්  රසයි .  වෙනදාට  වඩා  කෑම රසයි  කියලා ගෙදර  අයත්  කියයි .  ඉතින්   ඔයාලා  මෙය  හදලා  බලලා  කොහොමද  කියලා  මට  කියන්නත්  අමතක  කරන්න  එපා  හොදද . . . .  

තව දවසක වෙනත් තුනපහ වර්ගයක් හදන විදිහ කියලා දෙන්නම් .

No comments:

Post a Comment