Thursday, 7 July 2016

  ෴   Fish Masala Kerala Style  /   ෆිෂ්  මසාලා  කේරල ක්‍රමයට  ෴

 



අපි  විවිධ  ක්‍රම  වලට  මාළු  හදලා  රස  බලන්න  කැමති . ඉතින්  අද  මම  හැදුවේ  කේරල ක්‍රමයට  ෆිෂ්  මසාලා  එකක් .  මේක  හරිම  රසවත්  මාළු  ව්‍යංජනයක්  . පහසුවෙන්  හදන්නත්  පුළුවන් . හදිස්සියේ  අමුත්තෙක්  ගෙදරට  ආවොත්  කෑම කන  වෙලාවක  නම්  අපි  කෑම ටිකක්  කන්න  දීලා  මිසක්  අරින්න  කැමති  නෑනේ .එහෙම  වෙලාවල්  වලට  අනිකුත්  ව්‍යංජන  හදන  අතර තුර  මාළු  ටික   සීසන් කරලා  තියලා  පහසුවෙන්  හදාගන්න  පුළුවන් .

කහ  බත්  /  සුදු  බත්  වගේම  ෆ්‍රයිඩ්  රයිස්  එක්කත්  හොදයි  . බත් මුල්  බැඳගෙන  වැඩට  යන   උදවියත්  කැමති  වෙයි  මේ  ක්‍රමයට  මාළු  හදලා  දුන්නොත් .  ඒ  වගේම  උත්සව  අවස්ථා වල  සහ  විශේෂ  අවස්ථා  වලට  මාළු කුරි පිටින්  මේ ක්‍රමයට  ෆිෂ් මසාලා හදලත්  රසයි  . 

ඉතින්  අපි  බලමු  මේක  හදන  විදිහ .

තවත්  දෙයක්  කියන්න  ඕනා  .. ඒ   මම  සාමාන්‍යයෙන්  හරියටම  නූලට  කිරලා  මැනලා කෑම හදන්න  පුරුදු  උන  කෙනෙක්  නෙමෙයි .එහෙම  හදනවාට  වඩා  තමන්ගේ  හිතේ  මිම්මෙන්  ප්‍රමාණ හිතලා  ඒ ඒ  දේවල්  එකතු  කරලා  හදන්න  පුරුදු  වෙන්න  . මොකද  තව  කෙනෙක්  යොදන  ප්‍රමාණ ම  ඔබට  ගැලපෙන්නේ  නැතුව  ඇති . උදාහරණයකට  අපි  හිතමු  මම  යොදන මිරිස්  ප්‍රමාණය  සමහර  විට  ඔබට  අඩු  වෙන්න පුළුවන් , සමහර  විට  වැඩි  වෙන්න පුළුවන් . ඉතින් කෑම  බිම  හදන්න  උනන්දු  ඕනෑම  කෙනෙක්  තමන්ගේ  අවශ්‍ය  තාවය  අනුව  ඒ  ඒ  ද්‍රව්‍ය  යොදා  ගන්නවා  නම් ,  කෑමක් උයන්න ගියාම  ඔබටමයි  පහසු  . මොකද  කිර  කිර ඉන්න  ඕනා  නෑ  . දවසක්  දෙකක්  යනකොට  ඉබේම  පුරුදු  වෙනවා  ඒ  විදිහට  ව්‍යංජන  වලට  පහේ  එකතු  කරන්න . හැබැයි  ඉතින්  හැම  දේටම  ඒ  තියරිය  හරි යන්නේ  නෑ  . මොකද  කිරලා  මැනලා  හදන්න  උවමනා  කෑම වර්ගත්  තියෙන  බව  අමතක  කරන්න  එපා  . . .


ෆිෂ් මසාල  එකට  අවශ්‍ය  දේවල් බලමු  අපි  . . . . 

 

 


                අවශ්‍ය  දේ    . .  


මාළු  මැරිනේට්  කිරීම  සදහා 


           මාළු  (  මම  කෑලි  ගත්තාට  මේක  මාළු  කුරී  සදහාත්  සුදුසුයි )

           කහ  කුඩු

           මිරිස්  කුඩු

           කොත්තමල්ලි කුඩු

           ලුණු

           ගම්මිරිස්  කුඩු

           දෙහි  යුෂ 


ක්‍රමය   . . .


 1.  මුලින්ම  මාළු  සෝදා  වතුර  ඉවත්  කර  ගන්න . මාළු  වල  ඇති  වතුර  ගතිය  ඉවත්  කර  ගන්න  සුදු   ටිෂූ එකකින්  තෙත  මාත්තු  කරගන්න  . මතක  තියා  ගන්න  කාබන් අකුරු  මුද්‍රිත  පත්තර  පිටු  කිසිම  වෙලාවක  කෑම  සෑදීමේදී  යොදා  ගන්න  එපා . ඒගැන  වෙනම  පොස්ට්  එකක්  දාන්නම්  .

  2.  බාජනයකට   මිරිස්  කුඩු   ,   කහ  කුඩු  ,  කොත්තමල්ලි   කුඩු   ,  ගම්මිරිස්  කුඩු  ,   ලුණු   සහ  දෙහි  යුෂ  එකතු  කර  ඒ  සියල්ල  හොදින්  කලවම්  කර අවශ්‍ය  නම්  වතුර  ටිකක්  ද  එකතු  කර  තලපයක්  සේ  සාදාගත්  මිශ්‍රණය  මාළු  වල  හොදින්  තවරා  ගන්න . මෙය  පැය  බාගයක්  හෝ  ඊට  වැඩි  කාලයක්  තියන්න  .





මසාලා  එකට  අවශ්‍ය  දේ   . . .


              පොඩියට  කපා  ගත්  ලුනු /  මිරිස්  /  තක්කාලි 

              චොප්  කරගත්  සුදු  ලුනු  /  අමු  ඉගුරු  (  මම  සාමාන්‍යයෙන්  ඕනෑම  මස්  මාළු  වර්ගයක්  උයනකොට  ඉගුරු  කුඩා   පෙති  වශයෙන්  දාන්නේ . මොකද  ඒවා  බත්  එක්කම  කන්න පුළුවන්  නිසා  )

              කරපිංචා  /   කොත්තමල්ලි  කොළ /  දෙහි  යුෂ 

              කහ  කුඩු  /  මිරිස්  කුඩු  /  කොත්තමල්ලි කුඩු  /  ලුණු  /  ගම්මිරිස්  කුඩු  / ගරම්මසාල

              තෙල්  සහ  වතුර  කෝප්ප  1  හෝ  1/2  ක්



සාදන  ක්‍රමය   . . .



   1.  ෆිෂ් මසාල  එක  සෑදීමට  සුදුසු  භාජනයක්  ලිප  තියා  තෙල්  දමා  හොදින්  රත්  කරගන්න .
 
   2.  රත් වූ  තෙලට  මාළු  කෑලි  දමා  දෙපැත්ත  හරවමින්   බැදගන්න . මාළු  ටික  කර  කර  ගන්න  එපා .  සාමාන්‍ය  ගානකට  රන්වන්  පාට  වන  තෙක්  බැදගන්න .


මෙන්න  මේ  වගේ  රන්වන්  පාට  වන  තෙක්  බැදගන්න   .




    3.  මාළු  බැදගත්  තෙල්  එකටම  ඉගුරු  ,  සුදු  ලුනු   , කරපිංචා එකතු  කර  හොදින්  කලවම්  කර  ගනිමින්  තෙම්පරාදු  කරන්න .   

    4.  එයටම  ලුනු ,  මිරිස්   ,  එකතු  කර  තවත්  හොදින්  තෙම්පරාදු  කර ගන්න .


   
 
   5.  ඉහත  සියලුම  දේ  හොදින්  තෙම්පරාදු  වූ   පසුව  එයට  කපා  ගත්  තක්කාලි  දමා  ගන්න . මෙය  හොදින්  කලවම්  කර  බාජනය  වසා  ගින්දර  අඩු කර  තක්කාලි  හොදින්  තැම්බෙන  තෙක්  උයා  ගන්න .


   6.  තක්කාලි  හොදින්  තැම්බුනු පසුව  එයට  මිරිස්  කුඩු   ,  කහ  කුඩු   ,  ලුණු   (රස  අනුව  )  ,  කොත්තමල්ලි  කුඩු  ,  ගරම්මසාල  කුඩු  , ගම්මිරිස්  කුඩු  දමා  හොදින්  කලවම්  කර  එයට  දෙහි  යුෂ  ටිකක්  සහ  නැවත  කරපිංචා  ටිකක්  එකතු  කර  හොදින්  කලවම්  කර  ගන්න .

 


   7.  දැන් මේ  මිශ්‍රණයට  වතුර  කෝප්ප  බාගයක්  පමණ  එකතු  කර  හොදින්  කලවම්  කර  එය  උතුරන  විට  මතක  ඇතිව  රස  බලා පසුව  මාළු  ටික  එකතු  කර ගන්න . රස  බලන්න  කියලා  කිව්වේ  ලුණු  ,  මිරිස්   සහ   ඇඹුල්  මදිනම්  මේ  අවස්ථාවේ  එකතු කරගන්න  නිසා . එසේ  සාදාගත්  මිශ්‍රණයට   එකතු කර  ගත්  මාළු  නොකැඩෙන ලෙස  මසාලා  මිශ්‍රණයට  හොදින්  කලවම්  කර  ගන්න .  මෙසේ  කලවම්  කර  ගත්  මාළු මසාල එක  වසා  ගින්දර  අඩු  කර  හිදෙන  තුරු  උයා  ගන්න .






 
   මේ  විදිහට  මාළු  ටික  එකතු  කර  ,  මාළු  නොකැඩෙන   ලෙස   මසාල  මිශ්‍රණයට  කලවම්  කර  ගන්න . 


    

මේසේ  කලවම්  කර  ගත්  මාළු මසාල එක  වසා  ගින්දර  අඩු  කර  හිදෙන  තුරු  උයා  ගන්න .



   8.  අවසානයට  චොප්  කර  ගත්  කොත්තමල්ලි  කොළ  දමා    ලිපෙන්  ඉවත්  කර  ගන්න . උණු  උණුවෙම  කෑම  මේසයට  යවන්න .






 කේරල  ක්‍රමයට  උයා  ගත් රසම රස ෆිෂ් මසාල    . . . 

 





ඔයාලට  මෙහි  අපැහැදිලි තැනක්  හෝ  දැනගන්න  අවශ්‍ය දෙයක්  ඇත්නම්  මැසේජ්  එකක්  දාන්න .   :) 

  

කේරල ක්‍රමයට  සාදා   ගත් ෆිෂ් මසාල  එකත්   එක්ක  බත්   ,  කැකිරි  ඇඹුල  ,  බතල කොළ සහ  කැරට් සම්බෝලය  සමඟ  බටු  බැදලා  උයලා  .
                   

No comments:

Post a Comment