Tuesday, 28 June 2016

කෑම කලාවේ සියලු  රස , ගුණ  එකට  කැටිකොට මුත්තෙට්ටුව තුල   ඔන්න  පළවෙනි  පොස්ට්  එක  දැම්මා .
අපි  ඉතින්  ඉස්සෙල්ලාම  සුබ  දෙයක්  කරනකොට  කිරිබතක්  හදනවා නේ  . ඒ  හින්දා  මම  අද  මුල්ම  පොස්ට්  එකට  මුං කිරිබත් නොහොත්   මුං ඇට කිරිබත්  හදන ක්‍රමය  තමයි  පල  කරන්න යන්නේ .

මුලින්ම  කියන්නම්  මොකක්ද  මේ  මුත්තෙට්ටුව  කියන්නේ  කියලා   .  . .  .

මුත්තෙට්ටුව  කියන  වචනය  අපේ සිංහල  භාෂාවේ ව්‍යවහාරය වන  කමත්  බසේ    වචනයක්  . එහි තේරුම  තමයි " ආහාර  " යන්නයි.
ඉතින්  මම  හිතුවා  කෑම ගැන  කතා  කරන්න  බ්ලොග්   එකකට  සුදුසුම  නමක් කියලා                                  " මුත්තෙට්ටුව  ".

මුත්තෙට්ටුව තුලින් විවිධ  කෑම වර්ග  සාදන  ක්‍රමය  ඔබට  ඉගෙන  ගන්න පුළුවන් .  ඒ වගේම  ආහාර  සම්බන්දව  බොහෝ  දේ  ඔබ වෙත  ගෙන එන  අදහසක්  ඇතිව  ඔන්න  එහි  පළමු පියවර  අද  තැබුවා  . .



මුං ඇට කිරිබත්  කිව්වාම  කන්න  අකමැති  කෙනෙක්  නැති  තරම් . අපි  හැමෝම  වගේ  කැමති  කෑමක්.
ඒ  වගේම  මුං ඇට කිරිබත්  ආහාරයට ගැනීම , තම්බා ගත් මුං ඇට ආහාරයට ගැනීම, මුං ඇට තම්බා ගත් වතුර බීම  ( මම  නම්  කවදාවත් මුං ඇට තම්බපු  වතුර  බොන්නේ  නෑ  . මොකද  ඉස්සර  වගේ  නෙමෙයි  වියලි  ධාන්‍ය  වර්ග  කල්  තබා  ගන්න , කෘමි සතුන්ගෙන්  ආරක්‍ෂා කරන්න   නොයෙකුත්  රසායනික ද්‍රවය  යොදා  ගන්නවා  අන්න  ඒ  නිසා  තමයි  බොන්නේ  නැත්තේ . )  මුං ඇට ව්‍යාංජනයක්‌ ලෙස ගැනීමද අම්ල පිත්ත රෝගයට  ඒ  කියන්නේ  -Gastritis වලට  ගුණදායකය.
හැබැයි  ඉතින් ලුණු මිරිස්  එක්ක  මුං කිරිබත්  කෑවොත්  නම් රෝගය  උත්සන්න  වෙලා Gastritis  වැඩි  වෙයි  .
ඒ  වගේම  මුං කිරිබත්  සීතල  ආහාරයක්  නිසා  සීත කෑම  අගුණ අය  දෙවරක්  හිතලා  කන්න  ඕනා  දෙයක්.
දෙවි  පිහිටෙන්  අපි  නම්  ඉතින්  ඔය  කිසි  දෙයක්  බලන්නේ  නෑ  කනවා   :D  

මම සාමාන්‍යයෙන්  මුං ඇට  කිරිබත්  උයන්නේ  මෙන්න  මේ  විදිහට  . ගොඩක්  අය  නම්  දන්නවා   මුං ඇට  කිරිබත්  උයන්න  .ඒත් නොදන්න  අයත් ඉන්න  නිසා  මම  රෙසිපි  එක  දාන්නම්   . . 

අවශ්‍ය  දේ  .
 -----------------
හාල්  කෝප්ප  1
මුං ඇට  කෝප්ප  බාගයක්  හෝ  තුන්  කාලක්  මම  ගන්නේ .
අවශ්‍ය  තරමට  පොල්  කිරි 
ලුණු 
වතුර 

සාදන  ක්‍රමය 
 -------------------

1.  රැයක් එළිවෙන්න  හෝ  පැය  පහක්  හයක්  පමණ   මුං ඇට පෙගෙන්න තිබ්බා .

2.  කිරිබත  උයන්න  සුදුසු  බාජනයකට  මුං ඇට  දාලා  වතුර  කෝප්පයක්  පමණ  දාලා  ලිපේ  තියලා  මුං ඇට  තැම්බෙන්න තියන්න .

3.    මුං ඇට බාගෙට  තැම්බිගෙන  එනකොට  එයට  හාල්  ටික  සහ  ලුණු  දමා  ගන්න .  ඒ  එක්කම  උතුරන  වතුර  කෝප්ප  දෙකක්  පමණ  දමා  ගන්න .මතක  තියා  ගන්න  කිරිබත්  වලට  සාමාන්‍ය  බත්  පිසගන්න  දානවාට  වඩා   වැඩි  ප්‍රමාණයක්  වතුර  එකතු  කර  ගන්න  ඕනා .

4.  බත්  හොදින්  ඉදුනාම  උකු  පොල්  කිරි  දාලා  හොදින්  කූරු ගාන්න  .  අඩුම  ගින්දරේ  බත  හොදින්  වහලා  කිරි  ටික  හිදිලා  ඉදෙන්න  තියන්න . ඒ  වගේම   කීප  සැරයක්  කිරි  බත්   එක  කූරු  ගාන්න .  මොකද  කිරිබත් වලට  හොදට  උකු  කිරි  ටිකක්  දාලා  කිරිබත  කූරු  ගාලා  ටිකක්  බේරී  උනාම  තමයි  රස  වැඩි . මට  මතකයි මගේ ආච්චි  අම්මා කිරි  බත් උයනකොට කිරි එකතු කරන්නේකිරිබත් මුට්ටියේ  මැදට  පොල්කටු හැන්දේ මිට ගහලා පොඩ්ඩක් කරකවලා ඒ වටේ  බත් ටික එහාට මෙහාට කරලා  , හැන්දේ මිට දිගේ පොල් කිරි ටික එකතු කරනවා . ඊට පස්සේ හැදී මිටෙන් කූරු ගලා මුට්ටිය වහලාලිපේ දර ටික එලියට ඇදලා අඟුරු වල ගිණි රස්නෙන්  කිරිබත ඉදෙන්න දෙනවා  

5.  කිරි  හිදුනාම  රස  පොඩ්ඩක්  බලලා  ලිප  නිවලා  කිරිබත්  එක  ඒ  බාජනයේම  මද  වෙලාවක්  වහලා  තියන්න .

6.  අවසානයට  කෙසෙල්  කොලයක්  අරගෙන  එහි  පොල්  කිරි  ටිකක් තවරලා  කිරිබත්  එක  තුනී  කර ගන්න . මම  නම්  පොල්  කිරි  ටිකක්  තවරපු  කෙසෙල්  කොළ  කෑල්ලකින්ම   තමයි  කිරිබත්  එක  තුනී  කරලා  අවශ්‍ය  හැඩය  හදා  ගන්නේ . මෙය  මදක් නිවුනාම  පිහියේ පොල් කිරි  ටිකක්  තවරලා  අවශ්‍ය  හැඩයට  සහ  ප්‍රමාණයට කෑලි  කපා ගන්න . පිහියේ  පොල්  කිරි  තවරන්නේ  කිරිබත්  කපනකොට  පිහියේ  ඇලෙන්නේ  නැති  වෙන්නත්  කෑලි  ටික  ලස්සනට  කපා  ගන්නත්  නිසා  .

 මේ  තියෙන්න  ඔය  ක්‍රමයට  හදපු  මුං කිරිබත් එක  . 




  මුං කිරිබත්  කන්න  ලුනු  මිරිසකුත්  හැදුවා  .
 
ලුනු  ,  සුදු ලුනු  බිකක්  දෙකක්  ,  කොච්චි  කරල්  කීපයක්  ,  උම්බලකඩ  ,  ලුණු   ,  කෑලි  මිරිස්   දාලා  හොදට  කෙටුවා  . අවසානයට  රස  අනුව  දෙහි  ඉස්ම  එකතු  කරලා  ගත්තා .


ඔන්න  ඉතින්  කෑලි  කපලා  ගත්තා කන්න  ..


මුං කිරිබත්  හදන්න  නොදන්නා  කෙනෙක්  ඉන්නවා  නම්  දැන්  ඉතින්  හදලා  බලන්න පුළුවන් . අපැහැදිලි  දෙයක්  තියෙනවා  නම්  අහන්න . ඒ වගේම  ඔයාලගේ  අදහස්   මෙන්ම ,  මේ සම්බන්දව මම නොදන්නා තවත් දේ ඇත්නම්  . . .   මම  ඒවා  දැනගන්නත් කැමති . ආයෙත් තවත් පොස්ට් එකකින් රස කෑමක් අරගෙන එන්නම්   . . තව එකක් කියන්න අමතක උනා  .යන්න කලින් ඒකත්  කියලාම  ගිහින්   එන්නම්  කෝ   . .  ඒ  මේ  කෑම  හැදුවෙත්  පොටෝ  ගත්තෙත්   මම ම  තමයි   . .    

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කුළුදුලේ පෝස්ටුවට මම ඉස් ඉස්සෙල්ලම කමෙන්ට් කරන්නම්කො, සුභ පැතුම් දිගු ගමනකට සහ තවත් රසවත් කෑම වගේම ඔයාගෙ දැනුම බෙදාගන්නට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දි , ඔයාලගේ සහයෝගය මට බොහොම වටිනවා

      Delete
  3. බොහොම වටිනා පළකිරීමක් වගේම වටිනා වැඩක්. ජයෙන් ජයටම දියුණුවෙන් දියුනුවටම ගිහින් දිගු ගමනක් යන්න වාසනා වේවා කියල පතනවා. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අමිල ,

      Delete
  4. බොහොම වටිනා වැඩක්...උණුසුම් සුබ පැතුම් ඔයාට....මෙය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි :)

      Delete
  5. අලුත් දෙයක් කරන්න කරුනු හොයනකොට ඔබගේ මෙම පලකිරීම දැක්කා.. ඔබගේ දැනුම සහ අත්දැකීම් අනාගතයේ අපට ප්‍රයෝජනවත් වේවි. ඉදිරියටත් මේ කටයුත්ත සාර්ඵකව කරගෙන යන්න ඔබය ධෙෙර්ය,ශක්තිය ලැබේවා කියා ප්‍රර්තනා කරනවා.

    ReplyDelete