Monday, 25 July 2016

          ෴ කංකුන්  කිරට  උයමු  ෴


කැල්සියම්  , විටමින්  ඒ  / සී  ,  යකඩ  , ප්‍රෝටීන්  ඇතුලු  තන්තු අඩංගු කංකුන්  පලා ලොවේ  රැජිනක් කියලා  කිවොත්  නිවැරදි . ඒත් අවාසනාවකට  වගේ  බොහෝ  දෙනෙක්  කංකුන් වල  ඇති ගුණාත්මක බව  ගැන  හරි  හැටි  දන්නේ  නෑ .  ආසියාවට  ආවේනික  කංකුන් දැන්  ලොව පුරා ජනප්‍රියයි .  චීන කෑම වට්ටෝරු සදහා  නැතිවම  බැරි  පලා  වර්ගයක් වන කංකුන් වල  යකඩ  බහුල  නිසා  නිරක්තිය ත් ,  මලබද්ධයත්   ඇති  අය සදහා  ආහාරයට වඩාත්   සුදුසුයි . කංකුන්  ආහාරයට  ගැනීම  හිස  කෙස්  වල  ඇති  විවිධ  රෝග  සදහත්  සුදුසුයි  කියලා  තමයි  ආයුරුවේදයේ  සදහන්  වෙන්නේ ..

වෙළඳ  පොලේ  ඇති  පලා  වර්ග  වල  පිරිසිදු  කම  ගැන  සෑහීමකට  පත්වෙන්න  අපිට  පුළුවන්  කමක්  නෑ . කම්මැලි නොවී  තම තමන්ගේ  ගෙවත්තේ  පුංචියට  පලා  වර්ග  කීපයක්  වවා  ගත්තා  නම්  හිතේ  බයක්  නැතිව  පිරිසිදු  කොළ  මැල්ලුමක්  ,  කොළ  සලාදයක්  වගේ  දේවල්  කන්න  පුළුවන්  . මොකද  වස  විස එකතු  නොකරන  නිසා  බයකුත්  නෑනේ   .
අපි  පුංචි  කාලේ  ඉදලාම  අපේ  ගෙදර  නම්  පලා  වර්ග  වගේම  එළවලු  වර්ග  කීපයක්  කිසිම  දවසක  මිලදී ගන්නේ  නෑ .  ඒ  වගේම  අහල  පහල   අයටත් ඒවායින්  ටික ටික  දෙන්න  අපේ  අම්මයි ,  තාත්තයි  පුරුදු  වෙලා  හිටියා .    මුකුණුවැන්න  ,  කංකුන්  , ගොටුකොල  ,  තම්පලා  ,  කුරපලා ,  කතුරුමුරුන්ගා , අඟුණකොළ  වගේම කුරිඥං කොළ      වගේ  පලා  වර්ග තමයි  තිබුනේ  . 
දැන්  මට  නම්  ඒ  වගේ  ගෙවත්තක්  නැතත්  පුංචි  බැල්කනි  එකේ  ඉඩ  තියෙන  තියෙන  විදිහට  පෝච්චි  වල  මම  අවශ්‍ය  ප්‍රමාණයට  පලා වර්ග  කීපයක්  හිටවලා  තියෙනවා . 
අද  මේ  කිරට  ඉව්වෙත්  අන්න  එහෙම  මම  හිටවපු  කංකුන්  වලින්ම  තමයි . 
පිරිසිදුවට  වස  විස  නැතිව  වගේම  තමන්ගේ  අතින්  හදපු  පැල  වල  පළදාව  නෙලලා  උයලා  කෑමට  ගන්නකොට  හිතට  අමුතු  සතුටක්  දැනෙනවා .  මම  හිතනවා  ඒ  අත්දැකීම  විඳපු  අය  දන්නවා  ඒ  ගැන   . . .

ඔන්න  ඉතින්  කංකුන්  ගැන  විස්තර  ලිව්වා  විතරනේ  කංකුන්  කිරට  හදන  විදිහ  කියලා  දෙන්න  මම  දැන්  යන්නේ . 
කංකුන් කිරට  කිව්වාම  ගොඩක්  අය  අහනවා  කංකුන් කිරට  හදනවාද  කියලා  ..   දෙන්න තියෙන  උත්තරේ  තමයි  ඔව්  මොකද  නැත්තේ  මම  උයනවා . රසත්  හොදයි  . හැමදාම  තෙලට  එහෙමත්  නැත්නම්  මැල්ලුම්  කන  කංකුන් මෙන්න  මේ  මගේ  විදිහට  කිරටත්  හදලා  කාලා  බලන්නකො  වෙනස ...

කංකුන්  කිරට  හදන්න  හරිම  පහසුයි .  ඉතා  ඉක්මනින්  හදා  ගන්න පුළුවන් රසවත්  ව්‍යාංජනයක්  .  කංකුන් කිරට  හදලා  බත්  කන්න  වගේම  ,  ඉදිආප්ප  ,  පාන්  වගේ  දේවල්  කන්නත්  නියමයි .  මේ  විදිහට  හදලා  කාලා  බලලා  රස  කොහොමද  කියලා  කියන්න  අමතක  කරන්නත්  එපා  ඔන්න   . .   :)  



කංකුන්  කිරට 



අවශ්‍ය  දේවල්  

----------------------

1.  කංකුන්
2.  කපා  ගත් ලුණු  /  මිරිස් 
3.  සුදු ලුණු බික් කීපයක් 
4.  උම්බලකඩ
5.  කරපිංචා  සහ  රම්පා 
6.  කපා ගත් තක්කාලි  ගෙඩියක්  පමණ
7.  උළුහාල්
8.  ලුනු
9.  උකු  පොල්  කිරි  අවශ්‍ය  පමණ
10. කහ  කුඩු  /  මිරිස්  කුඩු  ටිකක්  /  තුනපහ  කුඩු 


සාදන  ක්‍රමය

----------------------- 

1.   පළමුව  කංකුන් සෝදා  වතුර  බේරෙන්න තියා  කපා  ගන්න .

මේ  මම  ගෙදර බැල්කනි  එකේ  පෝච්චියක  වවපු  කංකුන්  .


2.   කපා ගත්  කංකුන් එකටම  ඉහත  සියලුම  දේ  එකතු  කර  හොදින්  කලවම්  කර  උයා  ගන්න . 




3.   කංකුන් ටික  හොදින්  තැම්බූන  පසුව  ලිපෙන්  බා ගන්න .  මතක  තියා  ගන්න  මම  මේ  කංකුන්  එක  උයන  විට  බාජනය  වසා  ඉව්වේ  නෑ  . 

කංකුන් කිරි හොදි .. මෙය පාන් , ඉදිආප්ප , බත් ඕනෑම දෙයක් සදහා සුදුසුයි . .


මම වඩාත් කැමති කංකුන් කිරි හොදි සමඟ ඉදිආප්ප කන්න .. කොච්චි දාලා කොටපු සම්බෝල , චිකන් කරි , කංකුන් කිරිහොදි සහ ඉදිආප්ප . .



කොච්චි දාලා කොටපු සම්බෝල , චිකන් කරි , කංකුන් කිරිහොදි සහ ඉදිආප්ප . .

Sunday, 10 July 2016

                     

   ෴   තවත්   ක්‍රමයකට  තුනපහ   හදමු  ෴

        
 
 
පලාතෙන් පලාතට තුනපහ හදන විදිහ වෙනස් . මම කලින් හදපු තුනපහ වගේ ම තමයි මේකත් . නමුත් පොඩි පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා ඒ තුනපහ එකට වඩා . මම මාස කීපයක් මේ තුනපහ හදලා පාවිච්චි කරනවා . පසුව මේක ඉවර වෙනකොට අනිත් විදිහට හදනවා . ඔයවගේ මාරුවෙන් මාරුවට මම තුනපහ වර්ග වෙනස් කර කර හදනවා . ඉතින් මට හිතුනා ඒ හදන තුනපහ වර්ග ඔයාලටත් කියලා දෙන්න . මේ මම පලකරන දෙවෙනි තුනපහ වර්ගය.

මෙම තුනපහ එළවලු වර්ග වලටත් වගේම මස් මාළු වලටත් යොදා ගන්න පුළුවන් . නමුත් මස් මාළු සදහා යොදා ගන්නේ නම් තුනපහ කබලේ බැදලා ගන්න .එවිට වඩාත් රසට මස් මාළු පිළියෙළ කර ගන්න පුළුවන් .
ගොඩක් අය කියන දෙයක් නේ කොහොම ඉව්වත් . මොනවා දැම්මත් එළවලු රස නෑ අනේ කියලා . මේ මම හදලා පලකරලා තියෙන ක්‍රම වලින් ඕනෑම ක්‍රමයකට තුනපහ හදලා එළවලු වර්ග උයලා බලන්නකෝ . ගෙරද අයම කියයි අද වෙනදාට වඩා කෑම රසයි කියලා .
හැබැයි ඉතින් උයන පිහනකොට ඒ ඒ එළවලු සහ මස් මාළු වර්ග වලට තුනපහ , ලුණු , මිරිස් , ඇඹුල් නියමිත පරිදි යොදා ගන්නත් අමතක කරන්න එපා . මොකද හැම දේම නියමිත ප්‍රමාණ වලට ආවම තමයි කෑම රස වගේම සුවඳකුත් ඇති වෙන්නේ .

අවශ්‍ය දේවල්

--------------------------------

1. කොත්තමල්ලි 125 ග්‍රෑම්

 

2. මාදුරු 50 ග්‍රෑම්

 

3 . සුදුරු 75 ග්‍රෑම්

 

4. කරාබුනැටි 10 පමණ

 

5. කරදමුංගු කරල් 15 ක් පමණ

 

6. ගම්මිරිස් 30 ග්‍රෑම්

 

7. උළුහාල් 30 ග්‍රෑම්

 

8. සාමාන්‍ය තරමක කුරුදු පොතු කෑල්ලක් ( අඟල් 1 ක 1 1/2 ක පමණ )

 

9. අබ තේ හැඳි 1 ක් පමණ

 

10. කැකුළු හාල් ග්‍රෑම් 60 පමණ

 

11. කඩල පරිප්පු මේස හැඳි 1

 

12. කරපිංචා 60 ග්‍රෑම් පමණ

 

13. රම්පා කැබැල්ලක් ( අඟල් 2 ක් පමණ )

 

14. සේර තරමක කොටසක් (අඟලක් දෙකක් පමණ )



අමු තුනපහ සාදන ක්‍රමය

------------------------------------
1. මුලින්ම මේ සියල්ලම සෝදා වතුර ඉවත්වෙන තුරු තබා හොදින් වියලා ගන්න .
2. අඩුම ගින්දරේ මේ සියල්ලම කබලේ බැදගන්න . ඒ වගේම හොදින් මතකතියා ගන්න මේ සියලුම කුළුබඩු වල පැහැය නොවෙනස් වන අයුරින් යන්තම් රත් කර ගන්න .
3. හොදින් නිවුන පසුව ග්‍රයින්ඩ් කරලා හුළං නොවදින ලෙස අසුරාගෙන එළවලු වර්ග උයන විට පාවිච්චි කරන්න . 
 
 
 
 
 

Thursday, 7 July 2016

  ෴   Fish Masala Kerala Style  /   ෆිෂ්  මසාලා  කේරල ක්‍රමයට  ෴

 



අපි  විවිධ  ක්‍රම  වලට  මාළු  හදලා  රස  බලන්න  කැමති . ඉතින්  අද  මම  හැදුවේ  කේරල ක්‍රමයට  ෆිෂ්  මසාලා  එකක් .  මේක  හරිම  රසවත්  මාළු  ව්‍යංජනයක්  . පහසුවෙන්  හදන්නත්  පුළුවන් . හදිස්සියේ  අමුත්තෙක්  ගෙදරට  ආවොත්  කෑම කන  වෙලාවක  නම්  අපි  කෑම ටිකක්  කන්න  දීලා  මිසක්  අරින්න  කැමති  නෑනේ .එහෙම  වෙලාවල්  වලට  අනිකුත්  ව්‍යංජන  හදන  අතර තුර  මාළු  ටික   සීසන් කරලා  තියලා  පහසුවෙන්  හදාගන්න  පුළුවන් .

කහ  බත්  /  සුදු  බත්  වගේම  ෆ්‍රයිඩ්  රයිස්  එක්කත්  හොදයි  . බත් මුල්  බැඳගෙන  වැඩට  යන   උදවියත්  කැමති  වෙයි  මේ  ක්‍රමයට  මාළු  හදලා  දුන්නොත් .  ඒ  වගේම  උත්සව  අවස්ථා වල  සහ  විශේෂ  අවස්ථා  වලට  මාළු කුරි පිටින්  මේ ක්‍රමයට  ෆිෂ් මසාලා හදලත්  රසයි  . 

ඉතින්  අපි  බලමු  මේක  හදන  විදිහ .

තවත්  දෙයක්  කියන්න  ඕනා  .. ඒ   මම  සාමාන්‍යයෙන්  හරියටම  නූලට  කිරලා  මැනලා කෑම හදන්න  පුරුදු  උන  කෙනෙක්  නෙමෙයි .එහෙම  හදනවාට  වඩා  තමන්ගේ  හිතේ  මිම්මෙන්  ප්‍රමාණ හිතලා  ඒ ඒ  දේවල්  එකතු  කරලා  හදන්න  පුරුදු  වෙන්න  . මොකද  තව  කෙනෙක්  යොදන  ප්‍රමාණ ම  ඔබට  ගැලපෙන්නේ  නැතුව  ඇති . උදාහරණයකට  අපි  හිතමු  මම  යොදන මිරිස්  ප්‍රමාණය  සමහර  විට  ඔබට  අඩු  වෙන්න පුළුවන් , සමහර  විට  වැඩි  වෙන්න පුළුවන් . ඉතින් කෑම  බිම  හදන්න  උනන්දු  ඕනෑම  කෙනෙක්  තමන්ගේ  අවශ්‍ය  තාවය  අනුව  ඒ  ඒ  ද්‍රව්‍ය  යොදා  ගන්නවා  නම් ,  කෑමක් උයන්න ගියාම  ඔබටමයි  පහසු  . මොකද  කිර  කිර ඉන්න  ඕනා  නෑ  . දවසක්  දෙකක්  යනකොට  ඉබේම  පුරුදු  වෙනවා  ඒ  විදිහට  ව්‍යංජන  වලට  පහේ  එකතු  කරන්න . හැබැයි  ඉතින්  හැම  දේටම  ඒ  තියරිය  හරි යන්නේ  නෑ  . මොකද  කිරලා  මැනලා  හදන්න  උවමනා  කෑම වර්ගත්  තියෙන  බව  අමතක  කරන්න  එපා  . . .


ෆිෂ් මසාල  එකට  අවශ්‍ය  දේවල් බලමු  අපි  . . . . 

 

 


                අවශ්‍ය  දේ    . .  


මාළු  මැරිනේට්  කිරීම  සදහා 


           මාළු  (  මම  කෑලි  ගත්තාට  මේක  මාළු  කුරී  සදහාත්  සුදුසුයි )

           කහ  කුඩු

           මිරිස්  කුඩු

           කොත්තමල්ලි කුඩු

           ලුණු

           ගම්මිරිස්  කුඩු

           දෙහි  යුෂ 


ක්‍රමය   . . .


 1.  මුලින්ම  මාළු  සෝදා  වතුර  ඉවත්  කර  ගන්න . මාළු  වල  ඇති  වතුර  ගතිය  ඉවත්  කර  ගන්න  සුදු   ටිෂූ එකකින්  තෙත  මාත්තු  කරගන්න  . මතක  තියා  ගන්න  කාබන් අකුරු  මුද්‍රිත  පත්තර  පිටු  කිසිම  වෙලාවක  කෑම  සෑදීමේදී  යොදා  ගන්න  එපා . ඒගැන  වෙනම  පොස්ට්  එකක්  දාන්නම්  .

  2.  බාජනයකට   මිරිස්  කුඩු   ,   කහ  කුඩු  ,  කොත්තමල්ලි   කුඩු   ,  ගම්මිරිස්  කුඩු  ,   ලුණු   සහ  දෙහි  යුෂ  එකතු  කර  ඒ  සියල්ල  හොදින්  කලවම්  කර අවශ්‍ය  නම්  වතුර  ටිකක්  ද  එකතු  කර  තලපයක්  සේ  සාදාගත්  මිශ්‍රණය  මාළු  වල  හොදින්  තවරා  ගන්න . මෙය  පැය  බාගයක්  හෝ  ඊට  වැඩි  කාලයක්  තියන්න  .





මසාලා  එකට  අවශ්‍ය  දේ   . . .


              පොඩියට  කපා  ගත්  ලුනු /  මිරිස්  /  තක්කාලි 

              චොප්  කරගත්  සුදු  ලුනු  /  අමු  ඉගුරු  (  මම  සාමාන්‍යයෙන්  ඕනෑම  මස්  මාළු  වර්ගයක්  උයනකොට  ඉගුරු  කුඩා   පෙති  වශයෙන්  දාන්නේ . මොකද  ඒවා  බත්  එක්කම  කන්න පුළුවන්  නිසා  )

              කරපිංචා  /   කොත්තමල්ලි  කොළ /  දෙහි  යුෂ 

              කහ  කුඩු  /  මිරිස්  කුඩු  /  කොත්තමල්ලි කුඩු  /  ලුණු  /  ගම්මිරිස්  කුඩු  / ගරම්මසාල

              තෙල්  සහ  වතුර  කෝප්ප  1  හෝ  1/2  ක්



සාදන  ක්‍රමය   . . .



   1.  ෆිෂ් මසාල  එක  සෑදීමට  සුදුසු  භාජනයක්  ලිප  තියා  තෙල්  දමා  හොදින්  රත්  කරගන්න .
 
   2.  රත් වූ  තෙලට  මාළු  කෑලි  දමා  දෙපැත්ත  හරවමින්   බැදගන්න . මාළු  ටික  කර  කර  ගන්න  එපා .  සාමාන්‍ය  ගානකට  රන්වන්  පාට  වන  තෙක්  බැදගන්න .


මෙන්න  මේ  වගේ  රන්වන්  පාට  වන  තෙක්  බැදගන්න   .




    3.  මාළු  බැදගත්  තෙල්  එකටම  ඉගුරු  ,  සුදු  ලුනු   , කරපිංචා එකතු  කර  හොදින්  කලවම්  කර  ගනිමින්  තෙම්පරාදු  කරන්න .   

    4.  එයටම  ලුනු ,  මිරිස්   ,  එකතු  කර  තවත්  හොදින්  තෙම්පරාදු  කර ගන්න .


   
 
   5.  ඉහත  සියලුම  දේ  හොදින්  තෙම්පරාදු  වූ   පසුව  එයට  කපා  ගත්  තක්කාලි  දමා  ගන්න . මෙය  හොදින්  කලවම්  කර  බාජනය  වසා  ගින්දර  අඩු කර  තක්කාලි  හොදින්  තැම්බෙන  තෙක්  උයා  ගන්න .


   6.  තක්කාලි  හොදින්  තැම්බුනු පසුව  එයට  මිරිස්  කුඩු   ,  කහ  කුඩු   ,  ලුණු   (රස  අනුව  )  ,  කොත්තමල්ලි  කුඩු  ,  ගරම්මසාල  කුඩු  , ගම්මිරිස්  කුඩු  දමා  හොදින්  කලවම්  කර  එයට  දෙහි  යුෂ  ටිකක්  සහ  නැවත  කරපිංචා  ටිකක්  එකතු  කර  හොදින්  කලවම්  කර  ගන්න .

 


   7.  දැන් මේ  මිශ්‍රණයට  වතුර  කෝප්ප  බාගයක්  පමණ  එකතු  කර  හොදින්  කලවම්  කර  එය  උතුරන  විට  මතක  ඇතිව  රස  බලා පසුව  මාළු  ටික  එකතු  කර ගන්න . රස  බලන්න  කියලා  කිව්වේ  ලුණු  ,  මිරිස්   සහ   ඇඹුල්  මදිනම්  මේ  අවස්ථාවේ  එකතු කරගන්න  නිසා . එසේ  සාදාගත්  මිශ්‍රණයට   එකතු කර  ගත්  මාළු  නොකැඩෙන ලෙස  මසාලා  මිශ්‍රණයට  හොදින්  කලවම්  කර  ගන්න .  මෙසේ  කලවම්  කර  ගත්  මාළු මසාල එක  වසා  ගින්දර  අඩු  කර  හිදෙන  තුරු  උයා  ගන්න .






 
   මේ  විදිහට  මාළු  ටික  එකතු  කර  ,  මාළු  නොකැඩෙන   ලෙස   මසාල  මිශ්‍රණයට  කලවම්  කර  ගන්න . 


    

මේසේ  කලවම්  කර  ගත්  මාළු මසාල එක  වසා  ගින්දර  අඩු  කර  හිදෙන  තුරු  උයා  ගන්න .



   8.  අවසානයට  චොප්  කර  ගත්  කොත්තමල්ලි  කොළ  දමා    ලිපෙන්  ඉවත්  කර  ගන්න . උණු  උණුවෙම  කෑම  මේසයට  යවන්න .






 කේරල  ක්‍රමයට  උයා  ගත් රසම රස ෆිෂ් මසාල    . . . 

 





ඔයාලට  මෙහි  අපැහැදිලි තැනක්  හෝ  දැනගන්න  අවශ්‍ය දෙයක්  ඇත්නම්  මැසේජ්  එකක්  දාන්න .   :) 

  

කේරල ක්‍රමයට  සාදා   ගත් ෆිෂ් මසාල  එකත්   එක්ක  බත්   ,  කැකිරි  ඇඹුල  ,  බතල කොළ සහ  කැරට් සම්බෝලය  සමඟ  බටු  බැදලා  උයලා  .
                   

Sunday, 3 July 2016

              ෴ ගෙදරදීම   තුනපහ   හදමු  ෴ 




බොහොමයක්  දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොම ඉව්වත් කෑම රස නෑ කියන එක.  කෑම රස වෙන්න නම් ඒවාට යොදන තුනපහ වල ගුණාත්මක බවක් අවශ්‍යයි කියලා මම නම් හිතන්නේ .  වෙළඳපොලේ නොයෙකුත්  වෙළඳ නාමයන් යටතේ  ඇති  තුනපහ  වර්ග  ,  මොනතරම්  හොදට නියමිත  ප්‍රමිතියට  තියෙනවා  කිව්වත්  ඒ  හැම  දෙයක් ම  මුල්‍යම වාසි බලාගෙන  යම් යම් ආදේශකයන් සුළුවෙන්  හෝ  එකතු කල  ඒවා . අන්න ඒ  නිසයි  ගෙදර  කොටාගන්න තුනපහ  සහ  වෙළඳපොලේ ඇති  තුනපහ  එකට  ගත්තාම  පාට  සහ  සුවඳ  වල   වෙනසක්  පෙන්නුම් කරන්නේ  . ඒ  වගේම  කෑම වල  රසයේත් වෙනසක්  දැනෙනවා .


අපේ ගෙදර නම් කිසිම  දවසක  තුනපහ කඩෙන් ගන්නේ නෑ . තුනපහ සදහා අවශ්‍ය දේවල් කඩෙන් ගෙනත් සෝදලා වේලලා කබලේ පොඩ්ඩක් බැදගෙන කුඩු කරනවා .


ගොඩක්  අය කියන  දෙයක්  තමයි  අපෝ  ඕවා  කරන්න  කොහෙද වෙලා තියෙන්නේ . අපි  මේ  රස්සාවට  යන ගමන්  ඕවා  කරනවා  තියා  උයා ගන්නෙත්  අමාරුවෙන්  කියලා .  එත්  මම  නම් හිතන්නේ  ඒ  හැටි  දවස්  ගානක  ශ්‍රමයක්  වැය කරන්න  අවශ්‍ය  නෑ  මේ  තුනපහ  හදා  ගන්න . 


මගේ  අම්මා  රජයේ  සේවිකාවක් .  මට  මතකයි  ඇය  පඩි දවසට  මාසෙටම  ඇති  වෙන්න තුනපහ  ,  මිරිස්  කුඩු  ,  මිරිස් කෑලි ,  කහ  වගේම  මුළුතැන් ගෙට  අවශ්‍ය  කරන  සියලුම  වියලි  ආහාරය  සහ අනිකුත්  දෑ ගෙදරට  එකපාර  අරගෙන  එනවා . ඒවා  ගෙනත්  සති අන්තයේ  නිවාඩු  දවසට  උදේ  පාන්දරම  ඒවා  හෝදලා  වේලෙන්න  තියනවා  .  තුනපහ  වලට  ගන්න  ජාති  විතරක්  නෙමෙයි  මිරිස්  කුඩු  සහ  කෑලි හදා  ගන්න  ගන්න මිරිස්  , කහ ,  උම්බලකඩ  මේ  හැම  දේම  හෝදලා  වේලලා  තමයි  ගන්නේ .  ඔයාලා  දන්නවා  ඒ  ද්‍රව්‍ය වල මොනතරම්  කුණු  ජරාව තියෙනවා  ද  කියලා . මිරිස්  තුනපහ  ගොඩක්  නිසා  හෝදලා  වෙලලා  ඒ  ඒ  ප්‍රමාණ  අරගෙන  කබලේ  බදින ඒවා  බැදලා  මිරිස්  මෝලට  ගෙනිහින්  කොටාගන්නවා . දැන්  නම්  ඉතින්  මෝලට  යන්න  අවශ්‍ය  නෑනේ  . ඕනෑම  ගෙදරක  මුළුතැන් ගෙයි  නවීන  උපකරණ  වලින්  සමන්විතයි  නේ . 


ඔන්න  ඔය  නිසා  අපේ  ගෙදර  හැමදාම  වගේ   කඩවල තියෙන එක එක ආදේශක විස ජරාවල් කලවම් නැති පිරිසිදු තුනපහ මිරිස් කුඩු  නිතරම තිබුනා .


වැල්වටාරම් කියව කියවා හිටියා මිස මම කියන්න ආව කාරනාව කිව්වේ නෑනේ . අද මම කියන්න යන්නේ ගෙදරදීම තුනපහ කුඩුකර ගන්න  හැටි .  මම මෙහෙම කුඩු  කරගෙන  එදිනෙදා පාවිච්චියට වෙනම බෝතලයක දාලා එළියෙන් තියාගෙන වැඩි හරිය හුලං නොවදින බාජනයක දාලා හොදින් වසා ඩිෆිෂර් එකේ දාලා තියා ගන්නවා . ඒ විදිහට හුලං නොවදි තියා ගත්තාම අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් තියා ගන්න පුළුවන් . මේ තුනපහ එක එක පලාතෙන් පලාතට සමහර වෙලාවට හදන ක්‍රමය වෙනසක් තියෙනවා . අපි හදන්නේ මෙන්න මේ විදිහට . මේ විදිහට තුනපහ බැදගෙන කොටා ගත්තාම සුවඳයි , රසයි වගේම පිරිසිදුයි .


මේවගේම  තවත්  ක්‍රම  දෙක  තුනක්  තියෙනවා  තුනපහ  හදා ගන්න. ඒවාත්  මම එකින්  එක  කියලා  දෙන්නම්   . . .

දැන්  ඉතින්   අපි  බලමු  ගෙදරදී  තුනපහ  හදන  විදිහ . 

බොහෝ  වෙලාවට  මස්  වලට  මාළු  වලට  මම  මේ  තුනපහ ම  කබලේ  බැදලා  ගන්නවා . එළවලු  වලට  නම්  මේ  විදිහටම  දානවා . 


තුනපහ ..

( මේ මම ගත්තු ප්‍රමාණ )

කොත්තමල්ලි 250 g

සුදුරු 125 g

මහදුරු 50 g

ගම්මිරිස් 60 g

අබ 20 g

එන්සාල් නොහොත් කරදමුංගු 20 g

කරාබුනැටි 10 g

උළුහාල් 20 g

මුංඇට මිටක් පමණ සමහර  අය  මුංඇට වෙනුවට  කඩල පරිප්පු  හෝ  සුදු  හාල්  එකතු  කරගන්නවා

කුරුදු පොතු තරමක කෑලි 1 (කෑල්ලේ තරම ගැන අදහසක් ගන්න පොටෝ එක බලන්න )

කරපිංචා මිටක් පමණ (මම ලංකාවෙන් ගෙනාපු මද පවනේ වේලපු කරපිංචා ගත්තේ )

මේ  තියෙන්නේ  අවශ්‍ය කරන  කුළුබඩු  . . .

 



1. මේ සියල්ල සෝදා අව්වේ දමා හොදින් වේලා ගන්න . මේවා සෝදන්න කියනා කාරනාව බලන්න පොටෝ එකක් ඇති . 

ඔන්න  පේනවා  නේද  තියෙන  කුණු   . . .

 

2. මේ සියල්ල මදක් කබලේ බැද ගන්න . ගොඩාක් වෙලා පාට වෙනස් වෙනකම් තියන්න එපා . බැදිලාද කියලා බලන්නේ අතින් අල්ලලා පොඩි කරනකොට අතට දැනෙනවා බැදිලා කියලා . තදින් ඇල්ලුවාම කොත්තමල්ලි එහෙම කුඩු වෙන ගතියක් තියෙනවා . සමහරු මේක කබලේ බදින්නේ නැතිව කුඩු කරනවා . ඒත් අපි නම් පොඩ්ඩක් කබලේ බැදලා ගන්නවා .මතක  තියා  ගන්න  මේක  තද  බ්‍රවුන්  පාට  වෙනකම්  කබලේ  රත්කරන්න  එපා  . 

 

3. මුලින්ම මම කොත්තමල්ලි කබලේ රත්කරලා ගත්තා .

4. ඉන්පසු සුදුරු , මහදුරු , උළුහාල් කබලේ රත්කර ගත්තා .

මෙන්න  තියනවා  ඒ  කබලේ  බැදලා  ගත්තු  කොත්තමල්ලි / සුදුරු  /  මහදුරු /  උළුහාල්   . .

 

5. ඊටත් පසු ගම්මිරිස් , කුරුදු පොතු , මුංඇට, කරදමුංගු (එන්සාල් ) , කරාබුනැටි සහ කරපිංචා කබලේ රත්කර ගත්තා .

ඔන්න  ඒ  කබලේ  බැදගත් සියලුම  දේවල්   . . .

 

6. අවසානයට අබ පොඩ්ඩක් රත්කර ගත්තා . වැඩිය අබ රත්කරන්න එපා තිත්ත එයි.

 

7. මේ සියල්ල හොදින් ග්‍රයින්ඩින් කර ගෙන පෙනේරයකින් හලා ගන්න .

8. එදිනෙදා බාවිතය සදහා පොඩි බෝතලයකට දමා ඉතිරිවා හුළං නොවදින බාජනයක දමා කල් තියා ගන්න .

 

මේ  තියෙන්නේ හදාගත්  තුනපහ ටික  . .  .

 


මේ තමයි අපි තුනපහ හදන විදිහ . කැමති නම් ඔයාලත් හදලා බලන්න . මුලින්ම පොඩ්ඩක් හදලා බලලා හොද නම් වැඩිපුර හදා ගන්න . මේ තුනපහ එක හරිම සුවඳයි ,  ඒවගේම   ව්‍යංජන  වලට  එකතු  කලාම  ගොඩක්  රසයි .  වෙනදාට  වඩා  කෑම රසයි  කියලා ගෙදර  අයත්  කියයි .  ඉතින්   ඔයාලා  මෙය  හදලා  බලලා  කොහොමද  කියලා  මට  කියන්නත්  අමතක  කරන්න  එපා  හොදද . . . .  

තව දවසක වෙනත් තුනපහ වර්ගයක් හදන විදිහ කියලා දෙන්නම් .

Tuesday, 28 June 2016

කෑම කලාවේ සියලු  රස , ගුණ  එකට  කැටිකොට මුත්තෙට්ටුව තුල   ඔන්න  පළවෙනි  පොස්ට්  එක  දැම්මා .
අපි  ඉතින්  ඉස්සෙල්ලාම  සුබ  දෙයක්  කරනකොට  කිරිබතක්  හදනවා නේ  . ඒ  හින්දා  මම  අද  මුල්ම  පොස්ට්  එකට  මුං කිරිබත් නොහොත්   මුං ඇට කිරිබත්  හදන ක්‍රමය  තමයි  පල  කරන්න යන්නේ .

මුලින්ම  කියන්නම්  මොකක්ද  මේ  මුත්තෙට්ටුව  කියන්නේ  කියලා   .  . .  .

මුත්තෙට්ටුව  කියන  වචනය  අපේ සිංහල  භාෂාවේ ව්‍යවහාරය වන  කමත්  බසේ    වචනයක්  . එහි තේරුම  තමයි " ආහාර  " යන්නයි.
ඉතින්  මම  හිතුවා  කෑම ගැන  කතා  කරන්න  බ්ලොග්   එකකට  සුදුසුම  නමක් කියලා                                  " මුත්තෙට්ටුව  ".

මුත්තෙට්ටුව තුලින් විවිධ  කෑම වර්ග  සාදන  ක්‍රමය  ඔබට  ඉගෙන  ගන්න පුළුවන් .  ඒ වගේම  ආහාර  සම්බන්දව  බොහෝ  දේ  ඔබ වෙත  ගෙන එන  අදහසක්  ඇතිව  ඔන්න  එහි  පළමු පියවර  අද  තැබුවා  . .



මුං ඇට කිරිබත්  කිව්වාම  කන්න  අකමැති  කෙනෙක්  නැති  තරම් . අපි  හැමෝම  වගේ  කැමති  කෑමක්.
ඒ  වගේම  මුං ඇට කිරිබත්  ආහාරයට ගැනීම , තම්බා ගත් මුං ඇට ආහාරයට ගැනීම, මුං ඇට තම්බා ගත් වතුර බීම  ( මම  නම්  කවදාවත් මුං ඇට තම්බපු  වතුර  බොන්නේ  නෑ  . මොකද  ඉස්සර  වගේ  නෙමෙයි  වියලි  ධාන්‍ය  වර්ග  කල්  තබා  ගන්න , කෘමි සතුන්ගෙන්  ආරක්‍ෂා කරන්න   නොයෙකුත්  රසායනික ද්‍රවය  යොදා  ගන්නවා  අන්න  ඒ  නිසා  තමයි  බොන්නේ  නැත්තේ . )  මුං ඇට ව්‍යාංජනයක්‌ ලෙස ගැනීමද අම්ල පිත්ත රෝගයට  ඒ  කියන්නේ  -Gastritis වලට  ගුණදායකය.
හැබැයි  ඉතින් ලුණු මිරිස්  එක්ක  මුං කිරිබත්  කෑවොත්  නම් රෝගය  උත්සන්න  වෙලා Gastritis  වැඩි  වෙයි  .
ඒ  වගේම  මුං කිරිබත්  සීතල  ආහාරයක්  නිසා  සීත කෑම  අගුණ අය  දෙවරක්  හිතලා  කන්න  ඕනා  දෙයක්.
දෙවි  පිහිටෙන්  අපි  නම්  ඉතින්  ඔය  කිසි  දෙයක්  බලන්නේ  නෑ  කනවා   :D  

මම සාමාන්‍යයෙන්  මුං ඇට  කිරිබත්  උයන්නේ  මෙන්න  මේ  විදිහට  . ගොඩක්  අය  නම්  දන්නවා   මුං ඇට  කිරිබත්  උයන්න  .ඒත් නොදන්න  අයත් ඉන්න  නිසා  මම  රෙසිපි  එක  දාන්නම්   . . 

අවශ්‍ය  දේ  .
 -----------------
හාල්  කෝප්ප  1
මුං ඇට  කෝප්ප  බාගයක්  හෝ  තුන්  කාලක්  මම  ගන්නේ .
අවශ්‍ය  තරමට  පොල්  කිරි 
ලුණු 
වතුර 

සාදන  ක්‍රමය 
 -------------------

1.  රැයක් එළිවෙන්න  හෝ  පැය  පහක්  හයක්  පමණ   මුං ඇට පෙගෙන්න තිබ්බා .

2.  කිරිබත  උයන්න  සුදුසු  බාජනයකට  මුං ඇට  දාලා  වතුර  කෝප්පයක්  පමණ  දාලා  ලිපේ  තියලා  මුං ඇට  තැම්බෙන්න තියන්න .

3.    මුං ඇට බාගෙට  තැම්බිගෙන  එනකොට  එයට  හාල්  ටික  සහ  ලුණු  දමා  ගන්න .  ඒ  එක්කම  උතුරන  වතුර  කෝප්ප  දෙකක්  පමණ  දමා  ගන්න .මතක  තියා  ගන්න  කිරිබත්  වලට  සාමාන්‍ය  බත්  පිසගන්න  දානවාට  වඩා   වැඩි  ප්‍රමාණයක්  වතුර  එකතු  කර  ගන්න  ඕනා .

4.  බත්  හොදින්  ඉදුනාම  උකු  පොල්  කිරි  දාලා  හොදින්  කූරු ගාන්න  .  අඩුම  ගින්දරේ  බත  හොදින්  වහලා  කිරි  ටික  හිදිලා  ඉදෙන්න  තියන්න . ඒ  වගේම   කීප  සැරයක්  කිරි  බත්   එක  කූරු  ගාන්න .  මොකද  කිරිබත් වලට  හොදට  උකු  කිරි  ටිකක්  දාලා  කිරිබත  කූරු  ගාලා  ටිකක්  බේරී  උනාම  තමයි  රස  වැඩි . මට  මතකයි මගේ ආච්චි  අම්මා කිරි  බත් උයනකොට කිරි එකතු කරන්නේකිරිබත් මුට්ටියේ  මැදට  පොල්කටු හැන්දේ මිට ගහලා පොඩ්ඩක් කරකවලා ඒ වටේ  බත් ටික එහාට මෙහාට කරලා  , හැන්දේ මිට දිගේ පොල් කිරි ටික එකතු කරනවා . ඊට පස්සේ හැදී මිටෙන් කූරු ගලා මුට්ටිය වහලාලිපේ දර ටික එලියට ඇදලා අඟුරු වල ගිණි රස්නෙන්  කිරිබත ඉදෙන්න දෙනවා  

5.  කිරි  හිදුනාම  රස  පොඩ්ඩක්  බලලා  ලිප  නිවලා  කිරිබත්  එක  ඒ  බාජනයේම  මද  වෙලාවක්  වහලා  තියන්න .

6.  අවසානයට  කෙසෙල්  කොලයක්  අරගෙන  එහි  පොල්  කිරි  ටිකක් තවරලා  කිරිබත්  එක  තුනී  කර ගන්න . මම  නම්  පොල්  කිරි  ටිකක්  තවරපු  කෙසෙල්  කොළ  කෑල්ලකින්ම   තමයි  කිරිබත්  එක  තුනී  කරලා  අවශ්‍ය  හැඩය  හදා  ගන්නේ . මෙය  මදක් නිවුනාම  පිහියේ පොල් කිරි  ටිකක්  තවරලා  අවශ්‍ය  හැඩයට  සහ  ප්‍රමාණයට කෑලි  කපා ගන්න . පිහියේ  පොල්  කිරි  තවරන්නේ  කිරිබත්  කපනකොට  පිහියේ  ඇලෙන්නේ  නැති  වෙන්නත්  කෑලි  ටික  ලස්සනට  කපා  ගන්නත්  නිසා  .

 මේ  තියෙන්න  ඔය  ක්‍රමයට  හදපු  මුං කිරිබත් එක  . 




  මුං කිරිබත්  කන්න  ලුනු  මිරිසකුත්  හැදුවා  .
 
ලුනු  ,  සුදු ලුනු  බිකක්  දෙකක්  ,  කොච්චි  කරල්  කීපයක්  ,  උම්බලකඩ  ,  ලුණු   ,  කෑලි  මිරිස්   දාලා  හොදට  කෙටුවා  . අවසානයට  රස  අනුව  දෙහි  ඉස්ම  එකතු  කරලා  ගත්තා .


ඔන්න  ඉතින්  කෑලි  කපලා  ගත්තා කන්න  ..


මුං කිරිබත්  හදන්න  නොදන්නා  කෙනෙක්  ඉන්නවා  නම්  දැන්  ඉතින්  හදලා  බලන්න පුළුවන් . අපැහැදිලි  දෙයක්  තියෙනවා  නම්  අහන්න . ඒ වගේම  ඔයාලගේ  අදහස්   මෙන්ම ,  මේ සම්බන්දව මම නොදන්නා තවත් දේ ඇත්නම්  . . .   මම  ඒවා  දැනගන්නත් කැමති . ආයෙත් තවත් පොස්ට් එකකින් රස කෑමක් අරගෙන එන්නම්   . . තව එකක් කියන්න අමතක උනා  .යන්න කලින් ඒකත්  කියලාම  ගිහින්   එන්නම්  කෝ   . .  ඒ  මේ  කෑම  හැදුවෙත්  පොටෝ  ගත්තෙත්   මම ම  තමයි   . .