෴ කංකුන් කිරට උයමු ෴
කැල්සියම් , විටමින් ඒ / සී , යකඩ , ප්‍රෝටීන් ඇතුලු තන්තු අඩංගු කංකුන් පලා ලොවේ රැජිනක් කියලා කිවොත් නිවැරදි . ඒත් අවාසනාවකට වගේ බොහෝ දෙනෙක් කංකුන් වල ඇති ගුණාත්මක බව ගැන හරි හැටි දන්නේ නෑ . ආසියාවට ආවේනික කංකුන් දැන් ලොව පුරා ජනප්‍රියයි . චීන කෑම වට්ටෝරු සදහා නැතිවම බැරි පලා වර්ගයක් වන කංකුන් වල යකඩ බහුල නිසා නිරක්තිය ත් , මලබද්ධයත් ඇති අය සදහා ආහාරයට වඩාත් සුදුසුයි . කංකුන් ආහාරයට ගැනීම හිස කෙස් වල ඇති විවිධ රෝග සදහත් සුදුසුයි කියලා තමයි ආයුරුවේදයේ සදහන් වෙන්නේ ..
වෙළඳ පොලේ ඇති පලා වර්ග වල පිරිසිදු කම ගැන සෑහීමකට පත්වෙන්න අපිට පුළුවන් කමක් නෑ . කම්මැලි නොවී තම තමන්ගේ ගෙවත්තේ පුංචියට පලා වර්ග කීපයක් වවා ගත්තා නම් හිතේ බයක් නැතිව පිරිසිදු කොළ මැල්ලුමක් , කොළ සලාදයක් වගේ දේවල් කන්න පුළුවන් . මොකද වස විස එකතු නොකරන නිසා බයකුත් නෑනේ .
අපි පුංචි කාලේ ඉදලාම අපේ ගෙදර නම් පලා වර්ග වගේම එළවලු වර්ග කීපයක් කිසිම දවසක මිලදී ගන්නේ නෑ . ඒ වගේම අහල පහල අයටත් ඒවායින් ටික ටික දෙන්න අපේ අම්මයි , තාත්තයි පුරුදු වෙලා හිටියා . මුකුණුවැන්න , කංකුන් , ගොටුකොල , තම්පලා , කුරපලා , කතුරුමුරුන්ගා , අඟුණකොළ වගේම කුරිඥං කොළ වගේ පලා වර්ග තමයි තිබුනේ .
දැන් මට නම් ඒ වගේ ගෙවත්තක් නැතත් පුංචි බැල්කනි එකේ ඉඩ තියෙන තියෙන විදිහට පෝච්චි වල මම අවශ්‍ය ප්‍රමාණයට පලා වර්ග කීපයක් හිටවලා තියෙනවා .
අද මේ කිරට ඉව්වෙත් අන්න එහෙම මම හිටවපු කංකුන් වලින්ම තමයි .
පිරිසිදුවට වස විස නැතිව වගේම තමන්ගේ අතින් හදපු පැල වල පළදාව නෙලලා උයලා කෑමට ගන්නකොට හිතට අමුතු සතුටක් දැනෙනවා . මම හිතනවා ඒ අත්දැකීම විඳපු අය දන්නවා ඒ ගැන . . .
ඔන්න ඉතින් කංකුන් ගැන විස්තර ලිව්වා විතරනේ කංකුන් කිරට හදන විදිහ කියලා දෙන්න මම දැන් යන්නේ .
කංකුන් කිරට කිව්වාම ගොඩක් අය අහනවා කංකුන් කිරට හදනවාද කියලා .. දෙන්න තියෙන උත්තරේ තමයි ඔව් මොකද නැත්තේ මම උයනවා . රසත් හොදයි . හැමදාම තෙලට එහෙමත් නැත්නම් මැල්ලුම් කන කංකුන් මෙන්න මේ මගේ විදිහට කිරටත් හදලා කාලා බලන්නකො වෙනස ...
කංකුන් කිරට හදන්න හරිම පහසුයි . ඉතා ඉක්මනින් හදා ගන්න පුළුවන් රසවත් ව්‍යාංජනයක් . කංකුන් කිරට හදලා බත් කන්න වගේම , ඉදිආප්ප , පාන් වගේ දේවල් කන්නත් නියමයි . මේ විදිහට හදලා කාලා බලලා රස කොහොමද කියලා කියන්න අමතක කරන්නත් එපා ඔන්න . . :)
කංකුන් කිරට
අවශ්‍ය දේවල්
----------------------1. කංකුන්
2. කපා ගත් ලුණු / මිරිස්
3. සුදු ලුණු බික් කීපයක්
4. උම්බලකඩ
5. කරපිංචා සහ රම්පා
6. කපා ගත් තක්කාලි ගෙඩියක් පමණ
7. උළුහාල්
8. ලුනු
9. උකු පොල් කිරි අවශ්‍ය පමණ
10. කහ කුඩු / මිරිස් කුඩු ටිකක් / තුනපහ කුඩු
සාදන ක්‍රමය
-----------------------1. පළමුව කංකුන් සෝදා වතුර බේරෙන්න තියා කපා ගන්න .
මේ මම ගෙදර බැල්කනි එකේ පෝච්චියක වවපු කංකුන් .
2. කපා ගත් කංකුන් එකටම ඉහත සියලුම දේ එකතු කර හොදින් කලවම් කර උයා ගන්න .
3. කංකුන් ටික හොදින් තැම්බූන පසුව ලිපෙන් බා ගන්න . මතක තියා ගන්න මම මේ කංකුන් එක උයන විට බාජනය වසා ඉව්වේ නෑ .
කංකුන් කිරි හොදි .. මෙය පාන් , ඉදිආප්ප , බත් ඕනෑම දෙයක් සදහා සුදුසුයි . .
මම වඩාත් කැමති කංකුන් කිරි හොදි සමඟ ඉදිආප්ප කන්න .. කොච්චි දාලා කොටපු සම්බෝල , චිකන් කරි , කංකුන් කිරිහොදි සහ ඉදිආප්ප . .
කොච්චි දාලා කොටපු සම්බෝල , චිකන් කරි , කංකුන් කිරිහොදි සහ ඉදිආප්ප . .