Tuesday, 28 June 2016

කෑම කලාවේ සියලු  රස , ගුණ  එකට  කැටිකොට මුත්තෙට්ටුව තුල   ඔන්න  පළවෙනි  පොස්ට්  එක  දැම්මා .
අපි  ඉතින්  ඉස්සෙල්ලාම  සුබ  දෙයක්  කරනකොට  කිරිබතක්  හදනවා නේ  . ඒ  හින්දා  මම  අද  මුල්ම  පොස්ට්  එකට  මුං කිරිබත් නොහොත්   මුං ඇට කිරිබත්  හදන ක්‍රමය  තමයි  පල  කරන්න යන්නේ .

මුලින්ම  කියන්නම්  මොකක්ද  මේ  මුත්තෙට්ටුව  කියන්නේ  කියලා   .  . .  .

මුත්තෙට්ටුව  කියන  වචනය  අපේ සිංහල  භාෂාවේ ව්‍යවහාරය වන  කමත්  බසේ    වචනයක්  . එහි තේරුම  තමයි " ආහාර  " යන්නයි.
ඉතින්  මම  හිතුවා  කෑම ගැන  කතා  කරන්න  බ්ලොග්   එකකට  සුදුසුම  නමක් කියලා                                  " මුත්තෙට්ටුව  ".

මුත්තෙට්ටුව තුලින් විවිධ  කෑම වර්ග  සාදන  ක්‍රමය  ඔබට  ඉගෙන  ගන්න පුළුවන් .  ඒ වගේම  ආහාර  සම්බන්දව  බොහෝ  දේ  ඔබ වෙත  ගෙන එන  අදහසක්  ඇතිව  ඔන්න  එහි  පළමු පියවර  අද  තැබුවා  . .



මුං ඇට කිරිබත්  කිව්වාම  කන්න  අකමැති  කෙනෙක්  නැති  තරම් . අපි  හැමෝම  වගේ  කැමති  කෑමක්.
ඒ  වගේම  මුං ඇට කිරිබත්  ආහාරයට ගැනීම , තම්බා ගත් මුං ඇට ආහාරයට ගැනීම, මුං ඇට තම්බා ගත් වතුර බීම  ( මම  නම්  කවදාවත් මුං ඇට තම්බපු  වතුර  බොන්නේ  නෑ  . මොකද  ඉස්සර  වගේ  නෙමෙයි  වියලි  ධාන්‍ය  වර්ග  කල්  තබා  ගන්න , කෘමි සතුන්ගෙන්  ආරක්‍ෂා කරන්න   නොයෙකුත්  රසායනික ද්‍රවය  යොදා  ගන්නවා  අන්න  ඒ  නිසා  තමයි  බොන්නේ  නැත්තේ . )  මුං ඇට ව්‍යාංජනයක්‌ ලෙස ගැනීමද අම්ල පිත්ත රෝගයට  ඒ  කියන්නේ  -Gastritis වලට  ගුණදායකය.
හැබැයි  ඉතින් ලුණු මිරිස්  එක්ක  මුං කිරිබත්  කෑවොත්  නම් රෝගය  උත්සන්න  වෙලා Gastritis  වැඩි  වෙයි  .
ඒ  වගේම  මුං කිරිබත්  සීතල  ආහාරයක්  නිසා  සීත කෑම  අගුණ අය  දෙවරක්  හිතලා  කන්න  ඕනා  දෙයක්.
දෙවි  පිහිටෙන්  අපි  නම්  ඉතින්  ඔය  කිසි  දෙයක්  බලන්නේ  නෑ  කනවා   :D  

මම සාමාන්‍යයෙන්  මුං ඇට  කිරිබත්  උයන්නේ  මෙන්න  මේ  විදිහට  . ගොඩක්  අය  නම්  දන්නවා   මුං ඇට  කිරිබත්  උයන්න  .ඒත් නොදන්න  අයත් ඉන්න  නිසා  මම  රෙසිපි  එක  දාන්නම්   . . 

අවශ්‍ය  දේ  .
 -----------------
හාල්  කෝප්ප  1
මුං ඇට  කෝප්ප  බාගයක්  හෝ  තුන්  කාලක්  මම  ගන්නේ .
අවශ්‍ය  තරමට  පොල්  කිරි 
ලුණු 
වතුර 

සාදන  ක්‍රමය 
 -------------------

1.  රැයක් එළිවෙන්න  හෝ  පැය  පහක්  හයක්  පමණ   මුං ඇට පෙගෙන්න තිබ්බා .

2.  කිරිබත  උයන්න  සුදුසු  බාජනයකට  මුං ඇට  දාලා  වතුර  කෝප්පයක්  පමණ  දාලා  ලිපේ  තියලා  මුං ඇට  තැම්බෙන්න තියන්න .

3.    මුං ඇට බාගෙට  තැම්බිගෙන  එනකොට  එයට  හාල්  ටික  සහ  ලුණු  දමා  ගන්න .  ඒ  එක්කම  උතුරන  වතුර  කෝප්ප  දෙකක්  පමණ  දමා  ගන්න .මතක  තියා  ගන්න  කිරිබත්  වලට  සාමාන්‍ය  බත්  පිසගන්න  දානවාට  වඩා   වැඩි  ප්‍රමාණයක්  වතුර  එකතු  කර  ගන්න  ඕනා .

4.  බත්  හොදින්  ඉදුනාම  උකු  පොල්  කිරි  දාලා  හොදින්  කූරු ගාන්න  .  අඩුම  ගින්දරේ  බත  හොදින්  වහලා  කිරි  ටික  හිදිලා  ඉදෙන්න  තියන්න . ඒ  වගේම   කීප  සැරයක්  කිරි  බත්   එක  කූරු  ගාන්න .  මොකද  කිරිබත් වලට  හොදට  උකු  කිරි  ටිකක්  දාලා  කිරිබත  කූරු  ගාලා  ටිකක්  බේරී  උනාම  තමයි  රස  වැඩි . මට  මතකයි මගේ ආච්චි  අම්මා කිරි  බත් උයනකොට කිරි එකතු කරන්නේකිරිබත් මුට්ටියේ  මැදට  පොල්කටු හැන්දේ මිට ගහලා පොඩ්ඩක් කරකවලා ඒ වටේ  බත් ටික එහාට මෙහාට කරලා  , හැන්දේ මිට දිගේ පොල් කිරි ටික එකතු කරනවා . ඊට පස්සේ හැදී මිටෙන් කූරු ගලා මුට්ටිය වහලාලිපේ දර ටික එලියට ඇදලා අඟුරු වල ගිණි රස්නෙන්  කිරිබත ඉදෙන්න දෙනවා  

5.  කිරි  හිදුනාම  රස  පොඩ්ඩක්  බලලා  ලිප  නිවලා  කිරිබත්  එක  ඒ  බාජනයේම  මද  වෙලාවක්  වහලා  තියන්න .

6.  අවසානයට  කෙසෙල්  කොලයක්  අරගෙන  එහි  පොල්  කිරි  ටිකක් තවරලා  කිරිබත්  එක  තුනී  කර ගන්න . මම  නම්  පොල්  කිරි  ටිකක්  තවරපු  කෙසෙල්  කොළ  කෑල්ලකින්ම   තමයි  කිරිබත්  එක  තුනී  කරලා  අවශ්‍ය  හැඩය  හදා  ගන්නේ . මෙය  මදක් නිවුනාම  පිහියේ පොල් කිරි  ටිකක්  තවරලා  අවශ්‍ය  හැඩයට  සහ  ප්‍රමාණයට කෑලි  කපා ගන්න . පිහියේ  පොල්  කිරි  තවරන්නේ  කිරිබත්  කපනකොට  පිහියේ  ඇලෙන්නේ  නැති  වෙන්නත්  කෑලි  ටික  ලස්සනට  කපා  ගන්නත්  නිසා  .

 මේ  තියෙන්න  ඔය  ක්‍රමයට  හදපු  මුං කිරිබත් එක  . 




  මුං කිරිබත්  කන්න  ලුනු  මිරිසකුත්  හැදුවා  .
 
ලුනු  ,  සුදු ලුනු  බිකක්  දෙකක්  ,  කොච්චි  කරල්  කීපයක්  ,  උම්බලකඩ  ,  ලුණු   ,  කෑලි  මිරිස්   දාලා  හොදට  කෙටුවා  . අවසානයට  රස  අනුව  දෙහි  ඉස්ම  එකතු  කරලා  ගත්තා .


ඔන්න  ඉතින්  කෑලි  කපලා  ගත්තා කන්න  ..


මුං කිරිබත්  හදන්න  නොදන්නා  කෙනෙක්  ඉන්නවා  නම්  දැන්  ඉතින්  හදලා  බලන්න පුළුවන් . අපැහැදිලි  දෙයක්  තියෙනවා  නම්  අහන්න . ඒ වගේම  ඔයාලගේ  අදහස්   මෙන්ම ,  මේ සම්බන්දව මම නොදන්නා තවත් දේ ඇත්නම්  . . .   මම  ඒවා  දැනගන්නත් කැමති . ආයෙත් තවත් පොස්ට් එකකින් රස කෑමක් අරගෙන එන්නම්   . . තව එකක් කියන්න අමතක උනා  .යන්න කලින් ඒකත්  කියලාම  ගිහින්   එන්නම්  කෝ   . .  ඒ  මේ  කෑම  හැදුවෙත්  පොටෝ  ගත්තෙත්   මම ම  තමයි   . .